critique of pure reason

විශ්ලේෂී සහ සංශ්ලේෂී ප්‍රස්තුත

තර්ක ශාස්ත්‍රයේ දී යම් ප්‍රස්තුතයක් එහි අන්තර්ගත වූ වචන වල අර්ථයෙන් පමණක් පැහැදිලි කරන්නේ නම් එය විශ්ලේෂී ප්‍රස්තුතයක් ලෙසින් හැඳින්වෙයි.එය වෙනත් ඔප්පු කිරීම් වලින් තහවුරු කරන්නට අවශ්‍ය නොවේ.එවැනි ප්‍රස්තුතයක සත්‍යතාවය වෙනත් බාහිර ලෝකයෙන් තොරතුරු ගෙනැත් දැක්විය යුතු වූවක් නොවේ. විශ්ලේෂී ප්‍රස්තුතයක්, එනම් “ත්‍රිකෝණයට කෝණ තුනක් ඇත,” යන ප්‍රස්තුතයේ දී එහි සත්‍යය එහි අඩංගු වචන වල තේරුම වටහා ගැනීමෙන් අවබෝධ කරගත හැකිවෙන්නකි.

සංශ්ලේෂී ප්‍රස්තුතයක් යනු බාහිර ලෝකයේ දැනුමක් තුලින් තහවුරු කරගත යුතු ප්‍රස්තුතයකි.වාක්‍යයේ අඩංගු වචන වල තේරුම වටහා ගැනීමෙන් පමණක් අවබෝධ කරගත නොහැකි වන්නකි. උදාහරණයක් වශයෙන් “සියළු බල්ලන් මාංශ භක්ෂිකයන් වෙති,” යන්න සංශ්ලේෂී ප්‍රස්තුතයකි. එහි සත්‍යයතාවය සොයා ගන්නට එහි අඩංගු වචන වල අර්ථයන් දැන ගැනීමෙන් නොහැකියි. සියළු බල්ලන් මාංශ භක්ෂිකයන් කීම සත්‍යයක් දැයි සොයා බලන්නට බාහිර ලෝකය වෙත යන්නට සිද්ධ වේ.

උදාහරණයක් මෙසේය.

විශ්ලේෂී ප්‍රස්තුතය: සියළු තනිකඩයන් අවිවාහක අයයි.
සංශ්ලේෂී ප්‍රස්තුතය: සමහර තනිකඩයන් දන්ත වෛද්‍යවරයන් වෙති.

විශ්ලේෂී ප්‍රස්තුත ඒ පවතින ආකාරයෙන් ම සත්‍ය ප්‍රස්තුත වෙති.එහෙත් සංශ්ලේෂී ප්‍රස්තුත සත්‍ය දැයි සොයා බලන්නට ලෝකයේ සංසිද්ධි දිහා බැලිය යුතු වේ. වැන් ඕර්මන් කුවින් විසින් 1951 දී විශ්ලේෂී සහ සංශේලේෂී අතර වෙනසක් ඇත්දැයි විචාරයක් පටන් ගත්තේ ය.

මුලින්ම “සංශ්ලේෂී” (synthetic) සහ විශ්ලේෂී (analytic) යන පදයන් ප්‍රස්තුත වර්ගීකරණයක් සඳහා යොදා ගත්තේ ඉමැනුවෙල් කාන්ට් ය. ඔහු ලියූ “ශුද්ධ විචාර ශක්තිය පිළිබඳ පරීක්ෂාව (Critique of Pure Reason) හි මේ ප්‍රස්තුත දෙක අතර වෙනස ඔහු හඳුන්වා දෙයි.

විශේලේෂී ප්‍රස්තුතයක දී උක්තයේ එන සංකල්පය එහි ආඛ්‍යාතයේ සංකල්පයේ අඩංගු වී ඇත.සංශ්ලේෂී ප්‍රස්තුතයක දී එහි උක්තයේ සංකල්පය එහි ආඛ්‍යාතයේ අඩංගු වී නැත. ඉතින් ඉහත පෙන්වා දී ඇති “සියළු තනිකඩයන් විවාහ නොවූ අයයි,” යන්න එයින් ම විස්තර වී සත්‍යයක් වන නිසා එය විශ්ලේෂී වෙයි. අවිවාහක යන සංකල්පය තනිකඩ යන සංකල්පයේ අඩංගු වෙයි. ඒ නිසා අවිවාහක යන්න තනිකඩ යන නිර්වචනයේ කොටසක් වෙයි.

සංශ්ලේෂී ප්‍රස්තුතයක් ලෙස “මියළු තනිකඩයන් දුකින් තැවෙන්නෝ වෙති,”දැක්විය හැකියි.එහි ආඛ්‍යාතයෙන් කියැවෙන සංකල්පයෙහි උක්තයෙන් කියැවෙන්න අඩංගු නැත. “සතුට” යන සංකල්පය යනු “තනිකඩ” යන සංකල්පයේ නැත්තකි. එසේම “දුකින්” හෝ “අසතුට” යන්න ද “තනිකඩ” යන සංකල්පයේ අඩංගු නොවන්නකි.

විශ්ලේෂී දර්ශනයේ පියා යැයි විරුදාවලිය ලත් ෆෙඩ්රීක් ලුඩ්විග් ගොට්ලොබ් ෆර්ජෙ (Frege) විසින් කාන්ට් තුල තිබූ මනෝවිද්‍යාත්මක ස්වභාවය ඉවත් කළ යුතු යැයි කියා සිටියේය.ප්‍රස්තුතයන් වල දී සබඳතාවයන් ගැන සැලකීමක් දැක්වීමෙන් සත්‍ය අසත්‍යය පැහැදිලි කරන්නට ප්‍රමාණවත් නැතැයි ඔහු කියා සිටියේය. උදාහරණයක් ලෙසින් ඔහු පෙන්වා දුන්නේ “අවිවාහක තනිකඩයෙක්” යන්න පරස්පර විරෝධී නොවන ප්‍රකාශයක් කියාය.ඒ නිසා නිර්වචනය යන්න වැදගත් යැයි ෆර්ජෙ විසින් පෙන්වා දුනි. නිර්වචනයකින් වචනයේ අර්ථය දක්වන්නේ නම් කාන්ට් කියූ සබඳතාවයක් ඇතැයි කීමෙන් තහවුරු කරනවාට වඩා නිර්වචනය වේ යැයි කියා තහවුරු කිරීම මනා බව ෆර්ජේ විසින් ගෙනහැර පාන ලදි.

කර්තෘ: අරුණි ශපීරෝ
අධ්‍යාපනය ලත් ආයතන: කැළණිය විශ්ව විද්‍යාලය, බ්‍රිටිශ් කොළම්බියා විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය
හිටපු කථිකාචාර්ය: කැළණිය විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය ගුරුගෙදර වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *