දේශපාලන ශාස්ත්‍රයට ප්‍රවේශයක්

මිනිස් ජීවිතයේ සෑම සංසිද්ධියකටම බලපාන ක්ෂේත්‍රයකි දේශපාලනය.ඒ නිසා දේශපාලන ශාස්ත්‍රය යනු කුමක් දැයි දැන ගැනීමෙන් සාමය හා යුද්ධය, අපරාධ යුක්තිය, බදු ක්‍රමය, සිවිල් අයිතීන් සහ නිදහස මෙන්ම වෙළඳ කටයුතු පිළිබඳ දැනුමක් ද ඇතිවෙයි. ඒ හැරෙන්නට වර්තමානයේ දේශපාලනය රට රටවල විවාහ නීති වලට සහ විද්‍යාත්මක ගවේෂණය තුලටත් රිංගා ගෙන ඇත.

පුද්ගලයා කාලය ගෙවන්නේ කුමන දේශපාලන රටක ද අනුව ඔහුගේ ජීවිතය වෙනසකට භාජනය වෙන්නකි.උතුරු කොරියාවේ දේශපාලන වාතාවරණයට වඩා දකුණු කොරියාව වෙනස් යැයි කියද්දී භෞතික වශයෙන් පවතින දේවල් සමඟ අයිතීන් හා වරප්‍රසාද යනාදිය ද වෙනස් ලෙසකින් ඒ රටවල් දෙකේ වැසියන්ට ලැබෙයි.

දේශපාලනය හදාරන්නාට මනා ප්‍රවේශයක් හදා දී ඇත්තේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. ආණ්ඩු ක්‍රම වර්ගීකරණයක් ඔහු සකස් කර දුනි. කවුද පාලනය කරන්නේ යන ප්‍රශ්නයට දෙන පිළිතුර අනුව එක අයෙක් ද,කිහිප දෙනෙක් ද නැත්නම් බහුතර පිරිසක් ද යැයි ලැබෙන පිළිතුරෙන් ආණ්ඩු ක්‍රම වර්ගීකරණය සැකසෙයි.

ස්ටැජෙයිරා වල ක්‍රි. පූ. 384 දී උපදින ඇරිස්ටෝටල් පැවත එන්නෙ කුලීන රදළ පවුල් සම්ප්‍රදායකිනි. වයස අවුරුදු 18 දී හේ ඇතැන්ස් නගරයේ පිහිටි ප්ලේටෝ ගේ අධ්‍යාපනික ආයතනයේ ඉගෙනීම පටන් ගත්තේ ය. වසර විස්සක් ඇරිස්ටෝටල් එහි ඉගෙනීම කළේය.ක්‍රි.පූ.348 දී ප්ලේටෝ අභාවයෙන් පසු ඇරිස්ටෝටල් අනටෝලියාවට සංචාරය පිණිස ගියේය. එහි දී ක්‍රි. පූ. 343 දී මැසඩොන් හි දෙවැනි පිලිප් රජු විසින් ඔහුගේ පුත් ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා ලෙසින් බඳවා ගන්නා ලදි. පසු කාලීන මහා ඇලෙක්සැන්ඩර් නම් දරන්නේ ඇරිස්ටෝටල් ගේ ඒ සිසුවායි.

ක්‍රි. පූ. 335 දී නැවත ඇතැන්ස් බලා එන ඇරිස්ටෝටල් ලිසේයම් නමින් තම අධ්‍යාපන ආයතනය පිහිටුවා ගනියි. එහි දී ඔහු සිය “දේශපාලනය” නැමති කෘතිය රචනා කරයි. මෙය කොටස් අටකින් යුතුය. දේශපාලන සංකල්ප ගණනාවක් විමර්ශනයට පාත්‍රය කරන්නකි. එහි වැදගත්ම අවධානය යොමු වන්නේ බලයේ වගකීම ඇත්තේ කවුරුන් අත ද යන්න විමසීමටයි.

“හොඳම ආණ්ඩු ක්‍රමය නම් සෑම මිනිසෙකුටම, ඔහු කවරෙක් වුවත්,හොඳින් තම ක්‍රියාකාරකම් කරමින් සතුටෙන් ජීවත් විය හැකි ආණ්ඩුවයි,”යැයි ඇරිස්ටෝටල් විසින් පෙන්වා දී ඇත. “දේශපාලනය” ග්‍රන්ථයේ IV කොටසේ දී ඇරිස්ටෝටල් විසින් ව්‍යවස්ථාවන් තුනක් ගැන හොඳ නරක විමසා බලයි. මේ ව්‍යවස්ථාවන් තුන නම්, එක් අයෙක් වෙතින් සිද්ධ වෙන පාලනය, කිහිප දෙනෙක් අතින් සිද්ධ වෙන පාලනය සහ බහුතරය අතින් සිද්ධ වෙන පාලනය යනුයි.

රාජාණ්ඩුවක් යනු එක් අයෙක් වෙතින් පාලනය සිද්ධ වීමයි. එහි සාර්ථකතාවය රඳන්නේ රජු සද්ගුණවත් නම් පමණි.රජු සද්ගුණවත් නොවන්නේ නම් එහි පවතින්නේ ප්‍රජා පීඩනයයි.

රදළ ආණ්ඩුවක් යනු කිහිප දෙනෙක් අතින් පාලනය සිද්ධ වීමයි.එහෙත් එවැන්නක සුලුතරය ධනවතුන්ගේ ඕනෑඑපාකම් පමණක් සලකා බලන්නේ නම් එහි පවතින්නේ කතිපයාධිපත්‍යයකි (oligarchy).

ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුවක් යනු සියල්ලන් අතින් බහුතරයක් පාලනය සිද්ධ වීමයි.මෙහි දී අනෙකුත් සියල්ලන්ගේ ම ඕනෑ එපාකම් සැලකිල්ලට ගැනීම බැහැර දා දුප්පතුන් පමණක් සැලකිල්ලට පාත්‍ර වේ.

ඇරිස්ටෝටල් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු පෙන්වා දී කියා සිටියේ සාධාරණ ව්‍යවස්ථාවක් සඳහා ධනවත් හා දුප්පත් දෙකෙන් ම නියෝජනය වෙන රාජ්‍ය සංස්ථාවක් -polity- සුදුසු යැයි කියාය.

කර්තෘ: අරුණි ශපීරෝ
අධ්‍යාපනය ලත් ආයතන: කැළණිය විශ්ව විද්‍යාලය, බ්‍රිටිශ් කොළම්බියා විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය
හිටපු කථිකාචාර්ය: කැළණිය විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය ගුරුගෙදර වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *