දේශපාලන විද්‍යාව

දේශපාලන විද්‍යාව අධ්‍යයන විෂයයක් ලෙස ආරම්භය හා විකාශය

දේශපාලන විද්‍යාවේ වර්තමාන සංවාදයන් සඳහා දේශපාලන විද්‍යාවේ ඉතිහාසය දැන සිටීම ද වැදගති. යම් විෂයයක ඉතිහාසය දැන සිටීම එහි අනන්‍යතාවය හඳුනාගැනීමට, එහි භාවිතය කුමක් දැයි අවබෝධයටත් හා එම විෂයයේ ප්‍රගතිය වෙනුවෙන් ද අවශ්‍ය වූවකි. විෂයයක ඉතිහාසය එය හදාරන අයගේ පර්යේෂණයන්ට මාර්ගෝපදේශකයක් ද වේ. දේශපාලන විද්‍යාවේ දී එහි ඉතිහාසය සහ එහි භාවිතය අතර සම්බන්ධය දැන සිටීම අනෙක් විෂයයන්ට වඩා අත්‍යාවශ්‍යම වූවකි.

ස්වභාවික විද්‍යාවන් වල ඉතිහාසය සහ දේශපාලන විද්‍යාවේ ඉතිහාසය අතර ඇති ප්‍රධාන වෙනස්කම මෙසේය. ස්වභාවික විද්‍යාවන් වල ඉතිහාසය සෑම සියළු දෙනෙක්ම එක හා සමාන ලෙසින් එසේ සිද්ධ වූවා යැයි පිළිගැනීමක් ඇත. එහෙත් දේශපාලන විද්‍යාවේ ඉතිහාසය සැලකිල්ලට ගනිද්දී බහුවිධ ඉතිහාස ඉදිරිපත් කිරීම දකින්නට ලැබේ. බහුවිධ ඉතිහාසයන් ඒ ඒ සමාජ අනුසාරයෙන් හැඩගැසුන ලද ඒවාය.

දේශපාලන විද්‍යාවේ ඉතිහාසය ලියන සමහර කර්තෘන් අතීතය ගැන විස්තරාත්මක සටහනක් ලිවීමෙන් පමණක් නතර නොවෙති. එසේම දේශපාලන ඉතිහාසය ගැන ලියූ සමහරු දේශපාලන විද්‍යාව හැදෑරූ අය ද නොවෙති. බහුතර වශයෙන් ඉතිහාසය නැවත සංස්කරණයක් කිරීම දේශපාලන විද්‍යාවේ ඉතිහාසයෙන් ද දැකිය හැකියි. ඉතිහාසය ගැන ලියන අය X සහ Y අතර සම්බන්ධය හට ගත්තේ කෙසේදැයි කියා අනෙක් සමාජයීය තොරතුරු බොහොමයක් ක්‍රමවත්ව අධ්‍යයනය කර නොමැති නම් ඔවුන් ගෙනෙන නිගමනයන් දෝෂ සහගත වේ.

සමාජ අධ්‍යයනයන් අතරට දේශපාලන විද්‍යාව අවසානයේ දී එකතු වූවක් සේ සැලකේ. ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි අය ගෙනහැර පෑවේ දේශපාලන දර්ශනයයි. එහෙත් දේශපාලන දර්ශනයෙන් වර්තමානයේ දී දේශපාලන විද්‍යාව වෙනස් මඟක ගමන් කරයි.  අද දේශපාලන විද්‍යාවේ දී එහි ආණ්ඩු ක්‍රමයක ආචාර ධාර්මිකත්වය හෝ ආර්ථික දේශපාලනය ගැනට වඩා පරම රාජ්‍යයක තිබිය යුතු විශේෂාංග සහ එහි ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතු දැයි සාකච්ඡාවට පාත්‍ර වෙයි.

දේශපාලන විද්‍යාවේ පියා ලෙස ඇරිස්ටෝටල් (ක්‍රි. පූ. 384-322) සැලකේ. එහෙත් ප්ලේටෝ විසින් ඉදිරිපත් ලද මනෝරාජ්‍යය සංකල්පය ආණ්ඩුවක විශේෂාංග ගැනත් එහි ක්‍රියාකාරීත්වය ගැනත් බටහිර දේශපාලන චින්තනයේ දී ඉතා සුවිශේෂී ලෙසකින් ප්‍රථම වතාවට විස්තර කරන ලද්දකි.

නූතන දේශපාලන විද්‍යාවේ දේශපාලන ආයතන හා රැඟුම් දක්වන්නන් ගැන අදහස් ඉදිරිපත් කළේ නිකලෝ මැකියාවෙලි විසිනි. ඒ නිසා දේශපාලන විද්‍යාවේ දේශපාලන ආදර්ශකයක් (politics model) නිර්මාණය කළ අය ලෙසින් මැකියාවෙලි සටහන් වෙයි.

අනතුරුව ප්‍රංශයේ දාර්ශනිකයන් වූ ෆ්‍රැන්සුවා-මාරී අරුඑට් වෝල්ටෙයාර්, ශාන් ශාක් රූසෝ, ඩෙනිස් ඩිඩරෝ වැන්නවුන් දේශපාලන විද්‍යාවට බලපෑම් කළ අය වූහ.

තෝමස් හොබ්ස් විසින් සමාජ ගිවිසුම ගැන න්‍යායයක් ඉදිරිපත් කළේය. හොබ්ස් කියා සිටියේ දුෂ්ට බවින් යුතු පුරවැසියා තම බලය රජයට පවරා රජයෙන් ආරක්ෂාව ලබාගන්නා බවයි. හොබ්ස්ට වෙනස් මඟක යන ජෝන් ලොක් කියා සිටියේ විචාරය සහ ඉවසීම යන මිනිස් ස්වභාවයන් සතු මිනිසාට ශිෂ්ඨ බවින් කටයුතු කරන්නට ඒවා උපකාර වෙන බවයි.

තෝමස් ජෙෆර්සන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් යනාදීන් ඇමෙරිකන් දේශපාලන අදහස් වල ප්‍රමුඛත්වය ගත්හ.

අපරදිග ඉතිහාසයේ ඍග්වේද, සංහිතා, බ්‍රාහ්මණ යන පුරාතන ඉන්දියානු කෘති වලින් දේශපාලන අදහස් ඉදිරිපත් වී ඇත. තක්ෂිලාවේ දේශපාලන චින්තකයා ලෙස සැලකෙන්නේ චානක්‍ය නොහොත් කෞටිල්‍ය (ක්‍රි. පූ. 350-275) නම් අර්ථශාස්ත්‍ර යන්න ලියූ පඬිවරයාය. එහි දේශපාලන චින්තනය, අර්ථ ශාස්ත්‍රය හා සමාජ ක්‍රමය ගැනත් මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති, සුබ සාධන, අන්තර්ජාතික සබඳතා, යුද උපායයන් යනාදිය විස්තරාත්මක ලෙසින් ලියැවී ඇත. කෞටිල්‍යයට වසර දෙසියයකට පසුව නිර්මාණය වෙන මනුස්මෘති යන්න තවත් ඉන්දීය දේශපාලන ග්‍රන්ථයකි.

චීනයෙන් ලැබෙන කොන්ෆියුසියස් දහමේ ද දේශපාලනය සඳහා උපදෙස් අඩංගු වෙයි.

කර්තෘ: අරුණි ශපීරෝ
අධ්‍යාපනය ලත් ආයතන: කැළණිය විශ්ව විද්‍යාලය, බ්‍රිටිශ් කොළම්බියා විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය
හිටපු කථිකාචාර්ය: කැළණිය විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය ගුරුගෙදර වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *