මහාචාර්ය සෙනරත් පරණ විතාන

ඉපැරැණි උරුමයන්හි අගය කියා දුන් පරණවිතාන

උපන්නෝ මිය යති. මිය ගියත් සදා කල් ජීවත් වන පුද්ගලයෝ ද වෙති. මෙවන් පුද්ගලයෝ විරලය. විරල පුද්ගලයන් අතර අතිශය විරල විද්වතකු ගේ ජන්ම දිනයක්‌ සැම වසරක ම දෙසැම්බර් 26 වැනි දිනට යෙදෙයි. පුරාවිද්‍යාව හා අපේ අතීතය පිළිබඳ දැනුම් සම්භාරය පොදු ජනතාව අතරටත් ඉන් නො නැවතී මුළු මහත් ලෝකයටත් ගෙන ගිය මහා සන්නිවේදකයාණෝ මහාචාර්ය සෙනරත් පරණ විතානයෝ ය.

වර්ෂ 1886 දෙසැම්බර් 26 වැනි දින ගාල්ලේ මැටරඹ දී උපන් සෙනරත් පරණවිතාන සිංහල, පාලි හා සංස්‌කෘත ඇතුළු පෙරදිග භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක්‌ ලබාගත්තේ ගාල්ලේ උණවටුනේ බොනවිස්‌ටා ඉංග්‍රීසි පාසලෙන් හා හීනටිගල රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙණිනි. වර්ෂ 1920 දී උඩුගම්පොළ ද්විභාෂා විදුහලේ ඉංග්‍රිසි උප ගුරුවරයකු ලෙස සේවයට එක්‌ වූයේ ය. වර්ෂ 1923 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සහකාර තනතුරට පත් වූ සෙනරත් පරණවිතාන තරුණයා ගේ දස්‌කම් දුටු එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌ වූ ඒ. ඇම්. හෝකාට්‌ විසින් දෙන ලද ශිෂ්‍යත්වයකට අනුව ඉන්දියාවේ අභිලේඛන, නාණක විද්‍යා හෙවත් කාසි පිළිබඳ අධ්‍යයන කරන විද්‍යාව, ප්‍රතිමා විද්‍යාව, වාස්‌තු විද්‍යාව වැනි පුරාවිද්‍යාවේ විවිධ පැතිකඩ රැසක්‌ පිළිබඳවත් දෙමළ බස පිළිබඳවත් අධ්‍යයන කළේ ය.

සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද ඔහු විසින් ලියන ලද ලිපි අතර ශිලා ලේඛන, ආගම හා කලා ශිල්ප, භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂය ක්‍ෂෙත්‍ර ගණනාවක්‌ විය. දකුණු ඉන්දියාවේ කීර්තිමක්‌ පුරාවිද්‍යාඥයකු වූ කේ. වී. සුබ්‍රමන්‍ය අයියර් මහතා යටතේ පුහුණුව ලද සෙනරත් පරණවිතාන තරුණයා ද්‍රවිඩ සෙල් ලිපි කියවීමේ මනා හැකියාවක්‌ ලබාගත්තේ ය. මෙතුමා විසින් ලියන ලද Stupa in Ceylon (ශ්‍රී ලංකාවේ ස්‌ථූප) නමැති ශාස්‌ත්‍රීය පර්යේෂණ නිබන්ධනය සඳහා නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධිය වර්ෂ 1936 දී පිරිනමන ලද්දේ ය.

වර්ෂ 1940 ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කරමින් ප්‍රථම සිංහල බෞද්ධ පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ලෙසට හෙතෙම පත් විය. වර්ෂ 1956 දක්‌වා පුරාවිද්‍යා කොමසාරිස්‌ ලෙස විධිමත් රාජ්‍ය සේවයක්‌ ඉටු කරමින් පුරාවිද්‍යාඥයන් සිය ගණනාවකටත් කළ නොහැකි ශ්‍රාස්‌ත්‍රීය සේවාවක්‌ කළේ ය. සීගිරියට මහත් ඇල්මක්‌ දැක්‌වූ පරණවිතානයෝ කැටපත් පවුරේ වූ ගී 685 දැඩි ආයාසයකින් කියවා අරුත් පැහැදිලි කළෝ ය. මේ ගී සියල්ල එක්‌ කර Sigiri Gratity නම් කාණ්‌ඩ දෙකකින් යුත් ග්‍රන්ථයක්‌ නිර්මාණය කළේ ය. වර්ෂ 1956 දී පුරා විද්‍යා කොමසාරිස්‌ ධුරයෙන් විශ්‍රාම ගිය සෙනරත් පරණවිතාන පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්යවරයා ලෙසින් වර්ෂ 1957 සිට 1964 දක්‌වා අගනා සේවයක්‌ කළේ ය.

ලක්‌වැසි බෞද්ධයන් අභයගිරිය හා ඡේතවනාරාමය හරිහැටි හඳුනා ගැනීමට නොහැකි ව සිටිය දී ශිලා ලිපි සාධක සහිතව අභයගිරිය කුමක්‌ ද ඡේතවනාරාමය කුමක්‌ ද යන්න වෙන් වෙන් ව හඳුනා ගත්තේ ය. අනුරාධපුරයේ දක්‍ෂිණ ස්‌ථූපය බොහෝ දෙනා අතර ප්‍රචලිත වූයේ එළාර සොහොන යනුවෙනි. මෙතුමා විසින් කරන ලද පර්යේෂණවලින් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව එය එලාර සොහොන නො ව දුටුගැමුණු මහරජු ආදාහනය කළ ස්‌ථානයේ ඉදි කළ ස්‌ථූපයක්‌ බවට සනාථ විය.

ශ්‍රී ලංකාවේ ආදිතම ගල් ලෙන්වලට යටින් කොටන ලද බ්‍රාහ්මී අක්‌ෂරවලින් යුත් ලෙන් ලිපි 1234ක්‌ ඇතුළත් කර Inscription of Ceylon නම් ග්‍රන්ථයක්‌ මෙතුමා විසින් කරන ලදී. මෙයට අමතරව Epigraphea Ceylenica නමින් ශිලා ලිපි අන්තර්ගත ග්‍රන්ථය වර්ෂ 1929 සිට 1964 දක්‌වා සංස්‌කරණය කළේ ය.

පරණවිතාන නාමය ගම්දනව් තුළින් විශ්වවිද්‍යාලයටත් විශ්වවිද්‍යාලයෙන් ලෝකය පුරාත් පැතිරී ගියේ පුරාවිද්‍යාව වෙනුවෙන් සිය ජීවිතය ම කැප කිරීම හේතුවෙනි. තනතුරු සොයා නො ගිය මෙතුමා සොයා තනතුරු ආවේ ය. අවුරුදු 72ක්‌ වැනි කාලයක්‌ තුළ අප රට ඉතිහාසයේ අඳුරු තැන්වලට සිය දැනුමේ ආලෝකය පතුරුවා හැරීමේ මහා පඬිරුවන ඉතිහාසයේ වැරැදි තැන් නිවැරැදි කළේ ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව යුගයක්‌ බිහි කිරීමට මුල් වූ මෙතුමා ශ්‍රී ලංකාව යටත් විජිතයක්‌ ව පැවැති යුගයේ දී පවා අප රට වසර දෙ දහසක අතීතයක සිට පැවැති උරුමය ලොවට හෙළි කළ යුතු බව දැඩිව අදිටන් කළේ ය. එවැනි අදීන චිත්තනයක්‌ හා ධෛර්යයක්‌ මෙතුමා තුළ ජනිත වීමට සිය විෂයාන්තර දැනුම, පුරාවිද්‍යා ක්‍ෂෙත්‍රය සම්බන්ධයෙන් තිබුණු අසමසම ඥාන සම්භාරය හා පෙර අපරදිග භාෂා දැනුම ද හේතු විය.

එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයන්ට වඩා විශේෂඥ දැනුමක්‌ හා ගැඹුරු විද්‍යාත්මක දැනුමක්‌ තිබුණු සෙනරත් පරණවිතාන නම් වූ මේ පඬිවරයා 1932 සිට 1935 කාලය තුළ වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස්‌ ලෙස පත් කර තිබුණ ද සේවය ස්‌ථිර නො කර එම තනතුරට බ්‍රිතාන්‍ය ජාතිකයකු පත් කිරීමට හේතුව දැනුමේ හා පළපුරුද්දේ අඩුවක්‌ නො ව ඔහු ශ්‍රී ලාංකිකයකු වීම බැව් පසු කලෙක දැනගන්නට ලැබී ඇත.

පරණවිතාන පඬිරුවන ශාස්‌ත්‍රීය පර්යේෂණවලට කැප වී සිටි අයකු බැව් අවිවාදයෙන් පිළිගත යුත්තකි. විශ්මයජනක යෑයි කිව හැකි තරම් කෘතීන් අතිවිශාල සංඛ්‍යාවක්‌ මෙතුමා විසින් පළ කරනු ලැබීම ඊට නිදසුනකි. ශ්‍රී ලංකාවේ පර්යේෂණ ග්‍රන්ථ අතරට වැඩි ම පොත් සංඛ්‍යාවක්‌ එක්‌ කළ ලේඛකයා වන්නේ ද මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ය.

සංරක්‍ෂණ කටයුතුවලට ඉමහත් උනන්දුවක්‌ දැක්‌වූ පරණවිතානයෝ කළ සංරක්‍ෂණ ස්‌ථාන අතරට වටදාගෙවල්, රමණීය මාළිගා, විහාර, දාගැබ්, සෝපාන පත්තිශාලා, රෝහල්, පොකුණු, කොටු තාප්ප, උයන් ආදිය ද ඇතුළත් වෙයි. පරණවිතාන පඬිරුවන සැබෑ යුග පුරුෂයකු වන්නේ පුරාවිද්‍යා ක්‍ෂෙත්‍රය වෙනුවෙන් ඉටු කළ යුතුකම් නිසා ම පමණක්‌ නො වේ. ඉතිහාසය, ලලිතකලා, දේශීය සංස්‌කෘතිය හා සංස්‌කෘතික උරුම, සමකාලීන විදේශීය සම්බන්ධතා වැනි අංග පිළිබඳ සමීක්‍ෂණ වාර්තා සකස්‌ කරන පර්යේෂකයන්ට පවා ඔහු ගේ කෘතීන් කදිම මූලාශ්‍ර විය.

පුරාණ අවශේෂ අධ්‍යයන කිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ මේ අග්‍රගණ්‍ය සිංහල බෞද්ධ පඬිරුවන වර්ෂ 1972 ඔක්‌තෝබර් මස 04 වැනි දින දැයෙන් සමුගත්තේ ය. සැබැවින් ම ඔහු සමුගත්තේ නො වේ. අපේ සිත්සතන්වල ඔහු සදා කල් ජීවත් වේ.

(සිරිසමන් විඡේතුංග ගේ මහාචාර්ය සෙනරත් පරණවිතාන කෘතිය ඇසුරෙන් සැකසිණි)
VIDUSARA පුවත් පත ඇසුරින් පලකරන ලදී.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *