සන්නිවේදනය යනු කුමක්ද?

සන්නිවේදනය යනු කුමක්ද?

ජනමාධ්‍ය ප්‍රචලිත වීමත් සමග සන්නිවේදන විෂය පිළිබද ලාංකේය උගතුන්ගේ අවධානය යොමු වුයේ 1960,1970 දශකවල සිටියි. විශ්වවිද්‍යාල මට්ටමින් ඇරබුනු සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පිළිබද පාටමාලා සමග ”සන්නිවේදනය” යන වචනයද බෙහෙවින් ජනප්‍රිය විය. ඉංග්‍රීසි භාෂාවේ Communication යන පදයෙන් කෙරෙන අර්ථ සමුදාය ප්‍රකාශ කිරීම සදහා ”සන්නිවේදනය” යන සිංහල වචනය සකස්කොට ගෙන ඇත. Communication යන්න , කිසියම් කාර්යයක් කරන්නා යන අරුත ඇති Muni යන ලතින් පදයෙන් බිදී ආවකි. Munis > Communi (ජනයා අතර රැදුණු) Communicar (පොදු බවටත් පත් කිරීම , බෙදා ගැනීම, ඇමතීම) යනුවෙන් විකාශනය වී Communication යන පදය සැකසී ඇත. එහි අර්ථ වන්නේ ප්‍රකාශය , නිවේදනය, සංදේශය, පණිවිඩය කතාබස් කරගැනීම ආදියයි. සන්නිවේදනය යන වදන ප්‍රචලිත වන්නට පෙර විඥපනය, නිවේදනය වැනි වදන් සාහිත්‍ය කෘති සහ වෙනත් තැන්වල දැකගත හැකිය. ” සං ” යන උප සර්ගය නිවේදනය යන වචනය හා එක්කොට යමක් මනාකොට දැනුම් දීම යන අරුත් ඇතිව සන්නිවේදනය යන සිංහල වචනය සකස් වී ඇත.

සන්නිවේදන විශාරදයෙකු වූ මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන්නේ “සන්නිවේදනයෙන් තොරව කණ්ඩායම්හි හා සමාජයන්හි පැවැත්මක් නොවන බවයි.” පුද්ගල සමුහයකින් සැදුම් ලත් සමාජයක සමාජීය සබදතා , සිරිත් විරිත් දැනුම ආකල්ප හැසිරීම් ආදී සංස්කෘතික සාධක සියල්ල හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ සන්නිවේදනයයි. ඇල්ප්‍රඩ් ජේ.ස්මිත් පවසන්නේද ” කිසියම් සමාජයක ජීවත්වීම සදහාත් සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සදහාත් සන්නිවේදන කාර්යය සිදුවිය යුතු බවයි. මෙයින් පෙනෙන්නේ සන්නිවේදනය මානව සමාජයන්හි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.

සන්නිවේදන ක්‍රියාවලිය කෙරෙහි පුද්ගලයෙකුගේ ඇස කණ නාසය දිව ශරීරය යන පසිදුරන්ම සම්බන්ධ වේ. එනම් ඇසෙන් රුප දැකිය හැකිය. කණෙන් ශබ්ද ඇසිය හැකිය. නාසයෙන් ගද සුවද ආග්‍රහණය කල හැකිය. දිවට රස දැනේ. ශරීරයට ස්පර්ශය දැනේ. මේ සියල්ලක්ම සන්නිවේදනය හා බැදී ඇති බව පැහැදිලිය.

සන්නිවේදනය ඇරබෙන්නේ කිසියම් උත්තේජනයකට ප්‍රතිචාරයක් ලෙසින් බවද සන්නිවේදන විද්වතුන් පෙන්වා දී ඇත. එනම් පසිදුරන්ට දැනෙන රුප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන අරමුණු කෙරෙහි ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ වේ. එමෙන්ම බඩගින්න , වේදනාව හා සතුට ආශාව වැනි මනෝභාවයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙසද පුද්ගලයෙකු හෝ සත්වයෙකු සන්නිවේදනයට යොමු වේ.

මානවයාට මෙන්ම සත්ත්වයන්ට ද තම පැවැත්ම තහවුරු කර ගැනීම සදහා සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයක් වේ.

මානව හා සත්ත්ව සන්නිවේදනය අතරෙහි ඇති වෙනස් කම් කීපයකි.

  1. සත්ත්ව සන්නිවේදනය භ්වාත්මක වුවකි.
  2. එය මානව සන්නිවේදනයට වඩා සරළය.
  3. සත්ත්ව සන්නිවේදන ක්‍රම සීමා සහිත වේ. ඒවා බොහෝ විට අදාළ සත්ත්ව කුලයට පමණක් සිමාවේ.
  4. මානව සන්නිවේදනය හදාළ යුතු වුවද සත්ත්ව සත්ත්ව සන්නිවේදනය සහජයෙන් ලබන්නකි.
  5. සත්ත්ව සන්නිවේදන අරමුණු ද සීමා සහිතය.
  6. මානව සන්නිවේදනය තුලින් කාලයේ හා භූගෝලීය සීමාකම් ඉක්මවිය හැකි වුවද සත්ත්ව සන්නිවේදනය සතුන් ස්ථානගත ව සිටින සීමිත ශේත්‍රයට පමණක් සීමා වේ.
  7. මානව සන්නිවේදනය ප්‍රගුණ කරමින් වැඩි දියුණු කළ හැකි වුවද සත්ත්ව සන්නිවේදනය එසේ නොවේ.

අපේ මුලික හැදෑරීම වන්නේ මානව සන්නිවේදනයයි. එහිදී සන්නිවේදනය පිලිබද ඉදිරිපත් වී ඇති නිර්වචන අවධානයට පත් කල යුතුය.

සන්නිවේදනය පිළිබද නිර්වචන

සන්නිවේදනයේ ස්වාභාවය වඩාත් විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට යෝග්‍ය වූ නිර්වචන සමුහයක් , සන්නිවේදන විද්වතුන් විසින් ඉදිරිපත්කොට ඇත. ඉන් ප්‍රධාන නිර්වචන කිහිපයක් මෙසේය.

  • ”කවරෙක් , කුමක්, කුමන මාධ්‍යකින් කවර ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් කවරෙකු හට කියයිද එය සන්නිවේදනය නම් වේ.”
    (Who says? What ? In which Channel? To Whom? Which What effect?) හැරල්ඩ් ලෑස්වෙල්
  • ”සන්නිවේදනය නම් යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් වෙනැත තැනකදී ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමයි”
    සැනන් විවර්

මහාචාර්ය විල්බර් ශ්‍රාම් පෙන්වා දෙන පරිදි සන්නිවේදනය යනු තොරතුරු ගැබ්වූ සංඥාවන් කරණ කොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත තත්වයක් ඇති කිරීමයි.” ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ”සන්නිවේදනයේදී අපි මිනිසුන් පිළිබද අධ්‍යානය කරමු. මිනිසුන් ඔවුනොවුන් සමග සම්බන්ධ වන ආකාරය ගැන අවධානය යොමු කරමු. විමසිලිමත් වෙමු. මේ එකිනෙකා කණ්ඩායම් වලට, සංවිධානවලට , සමාජයන්ට සම්බන්ධ වන ආකාරයත් , අනෙයෝන්ය වශයෙන් උගන්වන ආකාරයත් , අනෙයෝන්ය වශයෙන් විනෝදාස්වාදය ලබා ගන්න ආකාරයත් ලබා දෙන ආකාරයත් සියල්ල සන්නිවේදනය නම් වන්නේය”.

එඩ්වඩ් සැපියර්ට අනුව ”සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුලින් පවත්වාගෙන යන සම්බන්ධතා ජාලයයි. චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙළින්ම හෝ වක්‍රව සන්නිවේදනයට සම්බන්ධකමක් ඇත”.

මෙම නිර්වචන තුලින් පැහැදිලි වන්නේ සන්නිවේදනය පුද්ගලයා හා සමාජය කෙරෙහි කොතරම් ගැබුරින් බද්ධ වී ඇති සාධකයක් ද යන්නයි. සමස්ත ලෝකයේම ගමන් මග තීරණය කෙරෙන සන්නිවේදනය වූ කලි මානවයාගේ ආරම්භය තෙක් අතීතයට දිව යන්නකි. එනම් මානව සමාජය අද පවතින තත්වය දක්වා වර්ධනය වී ඇත්තේ සන්නිවේදනයේ දියුණුවත් සමගිනි.

 

කර්තෘ: කථිකාචාර්ය සුනිල් දෑරංගල මහතා
අධ්‍යාපනය ලත් ආයතන: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
කථිකාචාර්ය: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය සිප්සවිය වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *