ධර්මරාජ ආදිශිෂ්‍ය ලේඛකයන්ගෙන් කෙටිකතා තිහක පොතක්

මහනුවර ධර්මරාජ විද්‍යාලය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළ නිර්මාණකරුවන් තිස් දෙනකුගේ කෙටිකතා ඇතුළත් වැව් දසුනේ ලේඛකයෝ – 2 කෘතිය පසුගියදා නිකුත් විය. මෙය ධර්මරාජ ලේඛකයන්ගේ දෙවැනි ව්‍යායාමයයි. මේ කෘතිය වැව් දසුනේ ලේඛකයෝ 2 වන්නේ ඒ නිසා ය. වැව් දසුනේ ලේඛකයෝ 1 බිහි වන්නේ, මීට වසර 17කට පෙරදී ය. එනම් වසර 2002 දී ය.

වැව් දසුනේ ලේඛකයන්ගේ කෙටි කතා සංග්‍රහ දෙකටම මුල පිරූවකු ලෙස, අජිත් රංජන් ඒකනායක හැදින්විය හැකි ය. ඔහු වැව් දසුනේ ලේඛකයෝ 1 ට මුල පුරන්නේ සම්මානනීය කලාකරුවකු වන කපිල කුමාර කාලිංග සහ ධම්මික මාභරණ සමඟිනි.

ඊට වසර 17කට පසුව වැව් දසුනේ ලේඛකයන්ට පණ දෙන්නට රංජන් ඒකනායකට සහය වන්නේ පුෂ්පානන්ද ඒකනායක සහ නීල් ප්‍රියන්ත කරුණාරත්නයි. පුෂ්පානන්ද මෙරට මුද්‍රිත ලෝකයේ ඓතිහාසික චරිතයකි. සිංහල පරිගණක අක්ෂර මාලා හඳුන්වා දීමේ පුරෝගාමියකු වන ඔහු, එෆ්. එම්. සහ ඉසි ඇතුළු ෆොනුරූ නිර්මාපකයා ය.

ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම විශිෂ්ටයන් අතර ධර්මරාජයේ ආදි සිසුන් බොහෝ දෙනකු සිටිති. මෙරට නවකතාවට පිදෙන ඉහළ ම සම්මානය වන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි වූයේ ‘අදිසි නදිය’ නවකතාව වෙනුවෙන් දම්රද ආදි සිසු කපිල කුමාර කාලිංග වෙතයි.

වැව් දසුනේ ලේඛකයෝ කෘති දෙකේම සංස්කරණයට එක්වූ, සැලසිනේ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂ අජිත් රංජන් ඒකනායක, මෙවැනි කෘතියක් පිළිබඳ අදහස මතු වූ අයුරු සිහිපත් කළේ මෙසේ ය.

‘අපි ධර්මරාජ මාධ්‍ය සංසදය පිහිටුවා ගැනීම වෙනුවෙන් මීට කලකට ඉහතදී පැවැත්වූ උත්සවයට ධර්මරාජයෙන් බිහිවුණ ලේඛකයන් රැසක් පැමිණියා. ඒ අවස්ථාවේදී ධර්මරාජයේ ලේඛකයන්ගේ නිර්මාණ ඇතුළත් කරලා අපි කෙටිකතා සංග්‍රහයක් කරමුයි කපිල කුමාර කාලිංග යෝජනාවක් ඉදිරිපත් කළා. වැව් දසුනේ ලේඛකයෝ 1 ප්‍රකාශයට පත් වුණේ ඒ අයුරිනුයි.

ඉන් පසු එම කෘතියම නැවත සංස්කරණ කරලා, එයට නව නිර්මාණ කිහිපයක් ඇතුළත් කරමින්, 2016 වසරේදි යළිත් ජනගත කළා.’

ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ලේඛකයකු වන නීල් ප්‍රියන්ත කරුණාරත්න පවසන්නේ මෙවැනි අදහසකි.

‘මේ කෘතියේ පළමුවැන්නේ බහුතරයක් තිබුණේ ප්‍රවීණ ලේඛකයන්ගේ කෙටිකතා. ඒත් ගතවූ දශක දෙකකට ආසන්න කාලය තුළ නව ලේඛක පරපුරක් බිහි වී තිබුණා. ඒ නව පරපුර හඳුන්වා දීමට අපට අවශ්‍ය වුණා.

මෙහි විශේෂත්වය, මෙවර කෙටිකතා ලියූ බොහෝ දෙනා පූර්ණකාලීන ලේඛකයන් නොවීමයි. ඒත් ඔවුන් ඉඳහිට කරන නිර්මාණවලින්, ඔවුන්ට නිර්මාණ හැකියාව තිබෙන බව අප වටහා ගත්තා. වැව් දසුනේ ලේඛකයෝ 2 බිහි වුණේ ඔවුන් හැමෝටම වේදිකාවක් තනා දීමේ අරමුණින්.

මෙහි මුල් කෘතියට ඇතුළත් වූණේ නිර්මාණ 15 ක් පමණක් වුණත්, මේ කෘතියට කෙටිකතා 30 ක් ඇතුළත් වෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ, ඉංග්‍රීසි බසින් කෙටිකතාවක් ඇතුළත්ව තිබීමයි. මුලින් අපේක්ෂා කළාට වඩා නිර්මාණ ප්‍රමාණයක් ලැබුණා. ඒ අනුව බැලුවාම මේක කෙටිකතා නිර්මාණ වුණාට, ලොකු පොතක් වුණා.

මේ කෘතියට තම කෙටිකතා නිර්මාණ එකතු කළ සම්මානනීය ලේඛක කපිල කුමාර කාලිංගයන් දැරුවේ මෙවන් අදහසකි.

‘මේ ග්‍රන්ථය ප්‍රකාශනය කිරීමේ මූලික අරමුණ වුණේ, ධර්මරාජයෙන් බිහිවුණ ලේඛකයන් වර්තමාන සිසුන්ට සහ සමාජයට හඳුන්වා දීමයි. විශේෂයෙන් දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසේන පතිරාජ, ඊටත් එහා ගියොත්, ඩේවිඩ් කරුණාරත්න වැනි අයගේ නිර්මාණත් එයට ඇතුළත් වුණා.

මේ කෘතියට වැව් දසුනේ ලේකකයෝ කියන්නේ ඇයි කියලා, කෙනකුට ප්‍රශ්නත් එන්න පුළුවන්. මහනුවර ධර්මරාජ විද්‍යාලය පිහිටා තිබෙන්නේ බෝගම්බර වැවට නැඟෙනහිර දෙසින් ඇති දර්ශනීය බිම් කඩකයි. ඒ කඳු මුදුන හඳුන්වන්නේ ලේක් විව් පාර්ක් කියායි. මහනුවර වැව ඇතුළු නගරය රමණීයව දර්ශනය වන මේ බිම් කඩ, වැව් දසුන ලෙසිනුත් හඳුන්වනවා. ඒ නිසයි වැව් දසුනේ ලේඛකයෝ කියලා නම් කළේ.

ප්‍රවීණ කවියෙක්, කෙටිකතාකරුවෙක් හා සාහිත්‍යවේදියෙක් වන කපිල එම්. ගමගේ ද වැව් දසුනේ ලේඛකයෙකි.

‘පාසලක ආදි ශිෂ්‍ය සංගමයක්, මෙවන් කටයුත්තකට යොමුවීමේ වැඩි වටිනාකමක් තියෙනවා. බොහෝ ආදි ශිෂ්‍ය සංගම් අරමුදල් තර කිරීමට වෙනත් විවිධ දේ කරද්දි, අපේ ආදි ශිෂ්‍ය සංගමය මෙවන් සක්‍රීය කලා කර්තව්‍යයකට තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය වැය කරනවා කියන්නේම වෙනස් දෙයක්. ඒ වගේම, අපේ ආදි ශිෂ්‍ය සංගමය මෙවන් දෙයක් කිරීම, වර්තමාන සිසුන්ට හොඳ පූර්වාදර්ශයක්.“

ප්‍රවීණ සිනමාවේදී සුදත් මහදිවුල්වැව මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

‘මම හිතනවා මේ වැඩේ සෙසු ආදි ශිෂ්‍ය සංගම් කොපි කරන්න ඕන වැඩක් කියලයි. මේ මඟින් අපට, ආයේ පාසල ඇතුළට එන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේ ම, එළියෙ සිටින අය වෙත ආලෝක ධාරාවක් එල්ල කරලා බලන්න, පාසල ඇතුළේ සිටින අයට අවස්ථාවක් ලැබෙනවා.

මම හිතන විදියට කෙටිකත කියන්නේ, එයටම අනන්‍ය ලක්ෂණ ඇති කේවල මාධ්‍යයක්. කෙටිකතාව කියන්නේ, නවකතා ලියන්න පුරුදු පුහුණු වන භූමියක් නෙමෙයි. එය වෙනම කලාවක්.

මම මුලින්ම කෙටිකතාවක් ලිව්වේ මගේ හිත වඩාත් සසල කළ සිදුවීමකට දැක්වූ ප්‍රතිචාරයක් විදියටයි. වැව් දසුනේ ලේඛකයෝ 1 කට ඇතුළත් වූයේ එම කෙටිකතාවයි. ඒ කතාවත් එක්ක මම දිගටම ජීවත් වුණා. මෙවර ලියවුණේ එම කෙටිකතාවේ දෙවැන්න. ඉදිරියේදි එම කෙටිකතාවේ තුන්වැනි කොටසත් මම ලියනවා. එතකොට මෙය තුන් ඈදුනු කෙටිකතාවක් වෙයි.“

මෙවර කෘතියට නිර්මාණ සැපයූ සෙසු ලේඛකයන් ගැන කෙටියෙන් මෙසේ ය.

අප අතරින් වෙන් වූ කීර්තිමත් සිනමාකරු ධර්මසේන පතිරාජ ද මින් කෙනෙකි. අජිත් ධර්මසූරිය සම්මානනීය චිත්‍ර ශිල්පියකු, කෙටිකතාකරුවකු මෙන් ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිර රචකයෙකි. චන්ද්‍රරත්න බණ්ඩාර ප්‍රවීණ සාහිත්‍යකරුවකු හා විචාරකයෙකි. රුවින්ද්‍ර අබේතුංග, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ෂර්ලි අනිල් ද සිල්වා මේ වන විට ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මාධ්‍යවේදියකු, තරුණ සාහිත්‍යවේදියකු, විචාරකයකු හා සමාජ ක්‍රියාකාරිකයෙකි. එරන්ද මහගමගේ සිනමාවේදියකු, ලේඛකයකු, පර්යේෂකයකු හා කලා විචාරකයකු වේ. සුපුන් අතුකෝරල කවියෙකි. තීරු ලිපි රචකයකු හා නිදහස් මාධ්‍යවේදියෙකි. චන්න දොළපිහිල්ල ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි. ලේඛකයෙකි.

රෝහිත භාෂණ අබේවර්ධන විකල්ප පුවත්පත් කලාවේදියෙකි. ධර්ම ශ්‍රී කාරියවසම් ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් මෙන් ම, ලේඛකයෙකි. බන්ධුල ගුණරත්න ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, සඟරා සංස්කාරකවරයකු සහ ලේඛකයෙකි. මොහාන් ශ්‍රී ගයන්ත ආරියවංශ ජනමාධ්‍යවේදියෙක් මෙන් ම වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකි. කැලුම් වැලිගම ජනප්‍රිය ලේඛකයකු මෙන් ම පුද්ගල සංවර්ධන උපදේශකයෙකි. සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකි. සමන් කුලරත්න, ගී පද රචකයෙකි.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන් ම, හිටපු සමාගම් සභාපතිවරයකු වන ලලිත් හීන්ගම, ලේඛකයකු මෙන් ම පරිවර්තකයෙකි. අමෙරිකාවේ නිව්යෝක් හි වෙසෙන තුෂාර දියබලනගේ පර්යේෂණ විද්‍යාඥයෙකි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන් ම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වූ ගාමිණී ගුණවර්ධන, මේ කෙටිකතා පොතට තම නිර්මාණයක් එක් කොට ඇත. සුජීව ක්‍රිෂාන්ත ගමගේ විශේෂාංග ලේඛකයෙකි. චතුර ජයතිලක කෙටි චිත්‍රපට හා ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යකවරයෙකු මෙන් ම කලා විචාරකයෙකි. වෘත්තිය ඡායාරූප ශිල්පියකු වන හේමන්ත අරුණසිරි, ඡායාරූප ගුරුවරයකු, ලේඛකයකු මාධ්‍යවේදියකු මෙන් ම සඟරා කතුවරයෙකි. ලක්ෂ්මන් ඉලංගකෝන් නාවික හමුදාවේ රියල් අද්මිරාල්වරයකු ලෙස විශ්‍රාම ලැබූ අතර, ග්‍රන්ථ ලේඛකයකු හා බ්ලොග් රචකයෙකි. නිලන්ත සත්සර ගමගේ මුහුණු පොතේ රචකයෙක් සහ බ්ලොග් රචකයෙකි. කලා ක්‍රියාකාරිකයෙකු වන චන්දිම සමරකෝන්, මේ කෘතියට ලියන ළාබාලමයා ය.

වැව් දසුනේ ලේඛකයෝ ජනගත වන්නේ, මේ මස 10 වැනිදා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙන ධර්මරාජ අභිමානයේ අභිෂේකය’ නම් උත්සවයේදී ය.

මීට සමගාමීව එදින ධර්මරාජ කලා නාමාවලිය 2019 සහ ප්‍රවීණ සිංහල අකුරු නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක විසින් ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් නිර්මාණ කරන ලද ධර්මරාජ ෆොනුරු පවුල නිල වශයෙන් විද්‍යාලය වෙත පිරිනැමීමද සිදු කෙරේ.

සුපුන් අතුකෝරල

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *