ප්‍රජා පීඩකයා (tyrant)

මූලික සංකල්ප: පාලනය කරන්නේ කවුද?

ගැටපද විවරණයක්

පරම බලය

ජාතියක, රාජ්‍යයක, එහි වාසය කරනවුන්ගේ සියළු පාර්ශවයන් ගැන සම්පූර්ණ බලඅධිකාරියක් තිබීම පරම බලයයි. සාමාන්‍යයෙන් මේ පද වහර යොදා ගැනෙනුයේ පරම අධිරාජ්‍යයෙක් ගැන කතාබහේ දී ය. රජුට පාලන අයිතිය ලැබුනේ දෙවියන් වෙතින්  යන සංකල්පය නිසා පරම අධිරාජ්‍ය්‍යන් පරම පාලනයෙන් යුක්ත වූහ.

අරාබි සමාජවාදය

සර්ව-අරාබි න්‍යාය පත්‍රයක් සමඟින් සමාජවාදයේ ලක්ෂණ එකතු වී හැදෙන දේශපාලන දෘෂ්ටියයි. එය උත්සාහ කරනුයේ අරාබි ලෝකයේ රටවල් එක්සත් කිරීමට ය. ආර්ථික සහ සමාජයීය ප්‍රතිපත්ති වලින් හැදෙන යුරෝපීය සමාජවාදයේ ලක්ෂණ බොහොමයක් අනුගමනය කළ ද අරාබි සමාජවාදයේ සිය අධ්‍යාත්මික අරාබි අනන්‍යයතාවය සහ දැඩි සංස්කෘතික පසුබිම ආරක්ෂා කරයි.

බුර්ජුවාසී

මාක්ස්වාදය හා බැඳුනු වහරකි. නිෂ්පාදන ක්‍රම සතු අයව නොහොත් ධනවාදී ඉහළ හා මැද පංතිය හඳුන්වන්නට යොදා ගන්නකි.

නගර-රාජ්‍ය

එක නගරයක් පමණක් ඇති, එය වටා පවතින භූමි දේශය පාලනය කරන ස්වාධීන රාජ්‍යයකි. වඩාත්ම සුප්‍රසිද්ධ නගර-රාජ්‍යයන් වූයේ පුරාතන ග්‍රීසියේ ය. ස්පාර්ටා, ඇතැන්ස්, තීබ්ස් යනු ඒවාය. බහුතර නගර-රාජ්‍යයන් මුලින්ම රාජාණ්ඩු ලෙසින් පැවතුන ද, කාලයාගේ ඇවෑමෙන් ඒවා රදළ ආණ්ඩු, කතිපයාධිපති හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බවට හැරිණ.

ව්‍යවස්ථාදායක-රාජාණ්ඩුව

ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස රජු සිටින ආණ්ඩු ක්‍රමයකි. එහි දී රජු නිල වශයෙන් පෙනී සිට ඉටු කරන්නේ චාරිත්‍රානුකූල හා උත්සව කටයුතු පමණි. වර්තමානයේ පවතින රාජාණ්ඩු බොහොමයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් තෝරා පත් වූ පාර්ලිමේන්තු ක්‍රමයක නීති සම්පාදක බලය සතුව පැවතිය දී ඒ රාමුව ඇතුලේ ඔටුන්න පවත්වා ගෙන යන්නට ඉඩ දී ඇත.

විචාරබුද්ධියේ පරමාධීත්වය

විචාරබුද්ධි දර්ශනය සැලකිල්ලට ගෙන පරම බලයකින් ආණ්ඩු කරන අධිරාජ්‍යයයා ය. එවැනි පාලකයන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, විවිධ ආගම් ඉවසා සිටීම, පුද්ගලික දේපල අයිතියට අවසරය යනාදියෙන් ප්‍රතිසංස්කරණ ඇති කරමින් පාලනය කළහ. අධ්‍යාපන ආයතන පිහිටුවීම සහ කලා කටයුතු දිරිගැන්වීම ද විචාරබුද්ධියේ පරමාධීත්වයෙන් පාලනය කරන රජ කෙනෙක් ගේ ලක්ෂණ වෙති.

පාරම්පරික උරුම රාජාණ්ඩුව

බලයේ ඉන්නා පාලකයාගේ අභාවයෙන් පසු ප්‍රථමයෙන් උපදින පුතාට හෝ දියණියට එසේත් නැත්නම් ළඟ ම ලේ ඥාතියාට ආණ්ඩු පාලනය බාර කිරීම. සියළු රාජාණ්ඩු තවමත් පදනම් වන්නේ මේ පාරම්පරික උරුම ක්‍රමය මතයි. ඵෛතිහාසික ලෙසින් කාන්තා පක්ෂයට කළින් පුරුෂ පක්ෂයට ඔටුන්න හිමි වීම සහ කාන්තාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හැරීම සාමාන්‍යයක් විය.

මාක්ස්වාදි-ලෙනින්වාදය

සම්භව්‍ය මාක්ස්වාදයේ වර්ගීකරණයක් වෙන මෙය ව්ලැඩ්මියර් ලෙනින් විසින් දියුණු කරන ලද්දකි. අධිරාජ්‍යවාදී වෙළඳාම යනු බුර්ජුවාසිය හරහා ප්‍රමාණවත් ධනයක් කම්කරු පංතියට බෙදා දීමෙන් විප්ලවයක් සිදුවීම වළක්වනවා යැයි ලෙනින් කීය. විද්වත් හා කැප වූ විප්ලවකරුවන් විසින් කම්කරුවන්ව විප්ලවය වෙත ගෙන යා යුතු යැයි හේ කීය. අධිරාජ්‍යවාදයට එරෙහි සටන සිද්ධ විය යුතු සටන් බිම නම් සංවර්ධනය වෙන ලෝකය යැයි ද ලෙනින් හඳුන්වා දුන්නේය. 1919 දී රුසියාවේ කොමියුනිස්ට් අන්තර්ජාතිකය නම් ආණ්ඩුව විසින් මාක්ස්වාදි-ලෙනින්වාදය තම ප්‍රධාන දෘශ්ටිය ලෙස අනුමත කර ගත්හ.

කුසලතාවයන්ට තැන දීම (meritocracy)

මෙම ආණ්ඩු ක්‍රමයේ දී වගකීම් හා බලය ලැබෙන ඒ ඒ තනතුරු වලට පුද්ගලයන් පත්වෙන්නේ ඔවුන් තුල ඇති කුසලතාවයන් අනුව පමණකි. එය පුරාතන චීනයේ කොන්ෆියුසියස් දහමේ මුලින් ම සඳහන් වූවකි. කුසලතාවයන්ට අනුව තැන ලැබීම නිසා ඥාතිවාදය (nepotism) සහ ගැතිවාදය (cronyism) වැළකේ. කුසලතාවය යන්නට ප්‍රමාණාත්මක අගයක් දිය නොහැකි යැයි මේ ක්‍රමයේ දෝෂයක් පෙන්වන අය කියති.

මිශ්‍ර ආර්ථිකය

රෙගුලාසි පැනවීම හා රෙගුලාසි නොමැති වීම යන දෙකෙන්ම යුතු ආර්ථික ක්‍රමය වෙනුවෙන් යොදා ගැනෙන වහරකි. බොහෝ සංවර්ධිත රටවල දකින්නට ඇත්තේ මෙයයි. නිදහස් වෙළඳපොලක් ඉලක්ක කරගත් භාණ්ඩ සහ ශ්‍රමය නිදහසේ සැරිසරන්නට ඉඩ දෙන අතර, සමහර අවස්ථාවල දී ඊට ආණ්ඩු මැදිහත්වීම් වලින් යුතුය. ඒ මැදිහත් වීම් සුබසාධන මහජනතාවට දීමත්, ආණ්ඩුවේ දෙපාර්තමේන්තු වලට සහනාධාර දීමත් යන දෙකෙන් ම සිද්ධ වේ.

කම්කරු පංතිය

වැඩකරන ජනතාව හඳුන්වන්නට මාක්ස්වාදී න්‍යයාය යොදා ගන්නා වහර වෙයි. කම්කරු පංතිය නිෂ්පාදන ක්‍රමයන්ට හිමිකම් නොකියති. ඒ නිසා තම ජීවිතය පවත්වා ගැනීමට ඔවුනට තම ශ්‍රමය විකුණන්නට සිද්ධ වෙයි.

ප්‍රජා පීඩකයා (tyrant)

පරම බලයෙන් යුතු පාලකයා. අද මේ වහර සමාන වෙන්නේ ආඥාදායකයා (despot) යන්න සමඟයි. ඒකාධිකාරී පාලනයකින් පාලනයට මැදිහත් වෙමින් ජනතාව පීඩිත කරමින් සහ කෲරත්වයට පත් කරමින් පාලනයයි. මේ වහර මුලින් ම එන්නේ පුරාතන ග්‍රීසියෙනි. එහි මුල් අර්ථය වූයේ උරුමයෙන් හෝ ව්‍යවස්ථානුකූල නොවී බලහත්කාරයෙන් බලය උදුරා ගත්තෙකු හඳුන්වන්නට ය. එසේ බලයට පත් වූ ප්‍රජා පීඩකයෙක් පසුව සාධාරණ ලෙස පාලනය ගෙන ගිය අවස්ථා ද ඉතිහාසය දක්වයි. ග්‍රීක සමාබන්ධනයේ ඇතැන්ස්  පුරවැසියන් පාලනය කළ ප්‍රජා පීඩකයන් තිස්දෙනා අතර ප්‍රධානීන් වූයේ ක්‍රිටියාස් සහ තෙරාමෙනෙස් යන දෙදෙනා ය.

කර්තෘ: අරුණි ශපීරෝ
අධ්‍යාපනය ලත් ආයතන: කැළණිය විශ්ව විද්‍යාලය, බ්‍රිටිශ් කොළම්බියා විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය
හිටපු කථිකාචාර්ය: කැළණිය විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය ගුරුගෙදර වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *