argument logical

තර්කය සහ විද්‍යාත්මක ක්‍රමය

කැමැත්තෙන් වුවත් අකමැත්තෙන් වුවත් අපි අදහස් දක්වද්දී තර්කයේ නියැළෙමු.

  • සමන්තිගෙ උපන් දින උත්සවයට මට ආරාධනාවක් තියනවා.
  • හැමෝම යනවා සමන්තිගෙ උපන් දින උත්සවේට.
  • ඒ නිසා, මාත් යන්න ඕනා.

හෝඩියේ පංතියේ ඉන්නා දරුවෙක් ද එසේ තර්කය ඉදිරිපත් කරන්නට දන්නේ ය.

අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීමෙන් අදහස් වටහා ගැනීමට හැකියාවත්, අදහස් පැහැදිලි ආකාරයකින් ප්‍රකාශ කිරීමටත්, ඒ නිසා ම අදහස් හුවමාරුවටත් ඉඩ ප්‍රස්ථා ඇති වේ.

තර්කය (argument) තර්කානුකූල (logical) වන්නට පහත ආකාර දෙක උපයෝගී කර ගැනෙයි.

නිගාමී තර්කයේ (deductive argument) දී ප්‍රස්තුත වලින් සත්‍ය නිගමනයක් ලැබීම සහතික කරයි. ප්‍රස්තුත සත්‍ය නම් වැරදි නිගමනයකට ඉඩක් ඇත්තේ නැත.

  1.  හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍යයන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබි ප්‍රතිඵලයක් යන්න සත්‍ය වෙන්නේ නම්,
  2. ඥානය යනු චින්තන කුසලතාවයකි යන්න ද සත්‍ය වෙන්නේ නම්,
  3. ඒ නිසා, කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයකි යන්න ද සත්‍ය්‍යක් විය යුතුයි.

උද්ගාමී තර්කයේ (inductive argument) දී ප්‍රස්තුත සම්භාවිතාව (probable) අනුව තෝරා ගැනෙයි. ඒවායෙන් සහාය දෙන්නේ සම්භාවිතාව අනුව නිගමනයක් කරා යන්නට ය. ප්‍රස්තුත වල සම්භාවිතාව අනුව ඒවා තුලින් යන නිගමනය වැරදි නොවේ.

  • හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍ය්‍යන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබි ප්‍රතිඵලයකි යන්න විය හැකි නම්,
  • ඥානය යනු චින්තන කුසලතාවයකි යන්න විය හැකි නම්,
  • ඒ නිසා, කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයකි යන්න ද විය හැකි ය.

මනෝවිද්‍යාවේ දී බොහෝ විට ප්‍රස්තුත තීරණය වන්නේ උද්ගාමී විධි ක්‍රමයෙනි. මිනිස් ස්වභාවයේ ඇති සංකීර්ණ බව නිසා ඕනෑම වාදයක එන එක ප්‍රස්තුතයක් ගැනවත් අපිට සහතික බවක් නැත. ඒ නිසා වාදයක දී ප්‍රස්තුත වල ඇති තාර්කික බව තීරණයට ඒ එක එක ප්‍රස්තුතය තහවුරු කරන සාක්කි මොනවා දැයි සොයා බලන්නට වෙයි. ඒ සාක්කි වල ඇති ශක්තිමත් බව අනුව ප්‍රස්තුත වල සම්භාවිතාව තීරණය කෙරෙයි.

යම් වාදයක නිරත වෙන අයෙක් තමන් ගෙන හැර පානා ප්‍රස්තුත වල සම්භාවිතාව කොතරම් දැයි සලකා බැලීමෙන් තමාගේ තර්කය වඩාත් තහවුරු කරන්නට දිය හැකි ශක්තිමත් සාක්කි ප්‍රමාණය වැඩි කරගත හැකිය. විවේචනාත්මක විමර්ශනයක් වඩාත් හොඳින් කරන්නට නම්, වාදයේ ශක්තිමත් බව කියා පාන්නට නම්, ඔබ ඉදිරිපත් කරන ප්‍රස්තුත ගැන මේ ප්‍රශ්න අහන්න.

  • මූලික ප්‍රස්තුතයට සහාය දෙන්න කොතරම් සිද්ධාන්ත/පර්යේෂණ තොරතුරු තියනවා ද? තවත් විදියකින් ඇහුවොත්, ඒ ප්‍රස්තුතය සම්භාවිතාව කොතරම් දුරකට ද?
  • සුළු ප්‍රස්තුත වලට සහාය දෙන්න කොතරම් සිද්ධාන්ත/පර්යේෂණ තොරතුරු තියනවා ද?

ඥානය ලැබෙන්නේ සමාජයෙන් ද නැත්නම් ජානු වලින් ද යන වාදයට නැවතත් පිවිසෙමු. සමාජයෙන් යැයි කියන වාදයට ශක්තිමත් තාර්කික හැකියාවක් ඇත්දැයි විමසමු.

  •  සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍ය්‍යන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබි ප්‍රතිඵලයකි,
  • සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ ඥානය යනු චින්තන කුසලතාවයකි,
  • ඒ නිසා සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයක් වීමේ සම්භාවිතාව වැඩි බවයි.

නැවතත් මිනිස් ස්වභාවයේ සංකීර්ණ බව නිසා අපි කියන්නේ සාක්කි (සිද්ධාන්ත/පර්යේෂණ) වලින් අපිට මේ තර්කය වඩා තහවුරු කරත හැකි බවයි. ඒ විදියට ම ජානු වලින් ඥානය තීරණය වෙනවා යන්න විමසමු.

  • සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන්ගේ ජානු අනුව තීරණය වූ බවයි,
  • සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ ඥානය යනු චින්තන කුසලතාවයකි,
  • ඒ නිසා, සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් ජානු වලින් ලබා ඇති බවයි.

ඉතින් දුර්වල තර්කයක් නම් කුමක් ද?

  • සාක්කි වලින් අඩුවෙන් ම පෙනී යන්නේ දරුවන්ගේ චින්තන කුසලතාවයන් යනු ඔවුන්ගේ ජානු අනුව තීරණය වූ බවයි,
  • සාක්කි වලින් අඩුවෙන් පෙනී යන්නේ ඥානය යනු චින්තන කුසලතාවයකි,
  • ඒ නිසා, දරුවන්ගේ ඥානය වැඩියෙන් ම තීරණය කරන්නේ ජානු වලින් යන්න සිද්ධ විය නොහැකි දුර්වල නිගමනයකි.

මූලික ප්‍රස්තුතය සත්‍ය වුවත් සුළු ප්‍රස්තුත වලට සහාය දීමට යොදා ගන්නා සාක්කි දුර්වල නිසා ද නිගමනය දුර්වල වෙයි.

  • සාක්කි වලින් වැඩියෙන් පෙනී යන්නේ දරුවන්ගේ චින්තන කුසලතාවය වැඩිපුර තීරණය වන්නේ ජානු වලින් බවයි.
  • එහෙත්, සාක්කි වලින් අඩුවෙන් පෙන්වා දෙන්නේ, ඥානය යනු චින්තන කුසලතාවයකි,
  • ඒ නිසා, දරුවන්ගේ ඥානය වැඩියෙන් ම තීරණය වන්නේ ජානු වලින් යැයි කීම සිද්ධ විය නොහැකි දුර්වල නිගමනයකි.

මෙහෙම වෙද්දී කලබල විය යුතු නැත. බොහෝ විටෙක තර්කයේ යෙදෙන පුද්ගලයෙක් ඉදිරිපත් කරන්නේ තමන් විසින් සොයාගත්තා වූ අදහස් නොවේ. එහෙත් මෙසේ විමසද්දී ඒ අදහස් වලට සහාය දෙන්නට සාක්කි මදි නිසා එහි දුර්වලතාවයන් දකින්නට හැකියාව ඇත්තා තමන් ඉදිරිපත් කරන නිගමනය ද දුර්වල බව දැකිය යුතුයි. නැත්නම් වෙනත් තර්කයක් සොයා යා යුතුයි.

සාමාන්‍ය කතාබහේ, අධ්‍යාපනයේ දී හා රුකියාවේ දී අනිත් පුද්ගලයින් ඉදිරිපත් කරන තර්කයන් මේ ආකාරයෙන් වටහා ගන්නට උත්සාහයක් ගන්නාට තම වැඩ කටයුතු වල අනගි බව වැඩි කරගන්නට අවස්ථාවක් පෑදේ. කළින් සටහනේ කියූ පරිදි තමන්ට වටහා ගත යුතු වූ අදහසක් සාමාන්‍ය තර්කයේ ඇති පරිදි standard form එකකට දමා ගැනීමෙන් එය විවේචනාත්මක විමර්ශනයකට ලක් කරන්නට හැකියාව ලැබේ. සාක්කි සොයා යෑම නිතර ම අසීරු වූ කාර්යය වුවත් එයින් මූලික ප්‍රස්තුතය හා නිගමනය සත්‍යයක් සේ පිළිගන්නවා ද නැද්ද යන්න විමසන්නට ඉඩක් ලැබේ.

කර්තෘ: අරුණි ශපීරෝ
අධ්‍යාපනය ලත් ආයතන: කැළණිය විශ්ව විද්‍යාලය, බ්‍රිටිශ් කොළම්බියා විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය
හිටපු කථිකාචාර්ය: කැළණිය විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *